Thursday, August 8, 2013

පිලිකාවක් ඇත්දැයි හඳුනාගන්නේ කෙසේද


කාන්තාවන්ට වැලඳෙන පිලිකා අතරින් ලෝකයේ බහුලවම පවතින්නේ පියයුරු පිලිකාවයි.ඒ වගේම ලංකාවේත් කාන්‍තාවන් අතර බහුලවම පවතින පිලිකාවත් මෙයයි.ඉතින් අද අපි තීරණය කලා පියයුරු පිලිකාව පිලිබඳබත් පියයුරු පිලිකාවක් ඇත්දැයි හඳුනාගන්නේ කෙසේද යන්නත් ඔබ දැනුවත් කරන්න..

පියයුරු වල ඇතිවන ගෙඩියක් යනු කුමක්ද ?
පියයුර විශාල වීමක් , ගැටිත්තක් ඇතිවීමක්, පියයුර නෙරා ඒමක්,හෝ ඉදිමීමක් පියයුරක අතිවන ගෙඩියක් ලෙස හැඳින්විය හැකියි.

පියයුරු වල ඇතිවිය හැකි ගෙඩි මොනවාද?
පියයුරු වල ඇතිවිය හැකි ගෙඩි බොහොමයක් තියෙනවා.මෙයිනුත් ෆයිබ්‍රොඇඩිනෝමා,
ෆයිබ්‍රොඇඩිනෝසිස්, පියයුරු සැරව ගෙඩි , පියයුරු දියර ගෙඩි , සහ පියයුරු පිලිකා ප්‍රධාන තැනක් ගන්නවා.
මෙහිදී පහදා දියයුතු වැදගත් කරුණු කිහිපයක්ම තිබෙනවා.පියයුරු ගෙඩි මෙන්ම පියයුරු පිලිකා ස්ත්‍රී , පුරුෂ දෙපාර්ශවයටම ඇතිවිය හැකියි. එම නිසා ස්ත්‍රී , පුරුෂ දෙපාර්ශවයම මේ පිලිබඳ දැනුවත් වීම වැදගත්.
පියයුරු ගැටිත්තක් , ගෙඩියක් ඉතා කුඩා බිලිඳකුගේ උවද ඇතිවිය හැකියි.ඒ මවගෙන් ලැබෙන ඊස්ට්‍රජන් හෝමනය නිසා. මෙසේ වීමටත් බිලිඳා දියණියක වියයුතුමත් නෑ. මෙම තත්වයත් පිරිමි දරුවෙක්ට උනත් ඇතිවෙන්න පුලුවන්.
ඒවගේම තවත් සඳහන් කල යුතු කාරණයක් තමයි ගැහැණු දරුවෙක් වැඩිවියට පත්වන වයසේදී පියයුරු නෙරා ඒමට ආරම්භ වීමත් සමග එම පියයුරු ගැටිතිද රිදුම් දීමට ඉඩ තිබෙනවා.එය සාමාන්‍ය තත්වයක්. එම නිසා එය මෙම තත්ව සමග පටලවා ගතයුතු නැහැ.

පියයුරු පිලිකාවක ලක්‍ෂණ මොනවාද ?
මුල්ම අවස්ථාවේදී රෝග ලක්‍ෂණ පෙන්වීමක් සිදුකරන්නේ නැහැ.පසුව ක්‍රමයෙන් පියයුරුවල හැඩය වෙනස් වීම ,බොහෝ විට වේදනාවෙන් තොර පියයුර තුල එහා මෙහා යන ගැටිත්තක් හෝ ඝනවීමක් හමුවීම,පියයුර ඉදිමීම , විශාල වීම,පියයුර මතුපිට වල ගැසීමක් , සමේ දොඩම් ලෙල්ලක මෙන් සුදුරු සහිත වැනි ලක්‍ෂණ මතු වේනම් ස්වභාවය වෙනස්වීම , සමේ පැහැය වෙනස් වීම , පියයුරු මත විශේෂයෙන්ම තන පුඩු මත තුවාල , දද ඇතිවීම,තන පුඩු ගිලා බැසීම ,ඉදිමීම , වේදනාව. , තන පුඩු වලින් ලේ හෝ සැරව වැනි ස්‍රාව පිට කිරීම.,කිහිලි ප්‍රදේශයේ ඇතිවන ගැටිති (වසා ගැටිති) නිසා තද ස්වරූපයක් ඇති වීම ප්‍රධාන රෝග ලක්‍ෂණ වේ.
පිලිකාව හදුනා ගැනීමට ප්‍රමාද උවහොත් අස්ථි , මොලය,අක්මාව, පෙනහලු වලටද පැතිරී යා හැකි නිසා එවිට ඒ අනුවද රෝග ලක්‍ෂණ ඇතිවේ.

පියයුරු පිලිකා ඇතිවීම කෙරෙහි බලපාන අවධානම් සාධක මොනවාද ?
1.වයස ඉහල යත්ම පිලිකා ඇතිවීමේ අවධානමද ඉහල යයි.බහුලවම පිලිකා රෝගීන් වාර්තා වන්නේ විශේෂයෙන්ම අවුරුදු 45-69ත් අතර කාන්තාවන්‍ වේ.
2.ස්ත්‍රී , පුරුෂ දෙපර්ශවයටම ඇතිවිය හැකි උවත් ස්ත්‍රීන්ට වැලඳීමේ සම්භාවිතාව වැඩියි.
3.එසේම දරුවන් නැති , මව් කිරි නොදුන් කාන්තාවන්ට වැලඳීමේ සම්භාවිතාව වැඩියි.
4.මත් පැන් සහ දුම් වැටි
5.පවුලේ වෙනත් අයෙකුට පියයුරු පිලිකා තිබීම
6.පලමු දරු උපත අවුරුදු 35 ඉක්මවා ගිය පසු සිදුවන කාන්තාවන්
7.තමන්ට මීට පෙර පියයුරු පිලිකාවක් වැලදී ඇත්නම් නැවත වරක් පියයුරු පිලිකාවක් වැලදීමේ ඉඩ වැඩියි.
8.හෝමෝන ප්‍රථිස්තාපන ප්‍රතිකාර දිගු කාලීනව ලබා ගන්නා කාන්තාවන්
9.අයහපත් ජීවන රටාව , ස්ථුලභාවය , ශාරීරික ක්‍රියාකාරකම් අඩූකම, ව්‍යයාම් අඩුවීම

පියයුරු පිලිකාවක් හඳුනාගන්නේ කෙසේද ?
අපි කලින් සඳහන් කලා පියයුරු පිලිකාවක ලක්‍ෂණ.
ගැටිත්තක් හෝ වෙනත් පියයුරු පිලිකාවක් දැයි සැක කල හැකි අපි කලින් සඳහන් කල එම ලක්‍ෂණ හඳුනාගැනීමට කාන්තාවක් විසින් ස්වයං පියයුරු පරීක්‍ෂාවක් කල යුතුයි. එසේ කරන්නේ නම් කලින් හඳුනාගැනීමට හැකි වනවා.
නැතිනම් කල් ගත උවහොත් පිලිකාව පැතිරී යා හැකියි . ඉතින් ඔබට පියයුරු පිලිකාවක් ඇතිවීමේ අවධානම් සාධක අවම උවත් අවුරුදු 20 කට වැඩි කාන්තාවන් මාසයකට වරක්වත් පියයුරු පරීක්‍ෂා කර ගන්නේ නම් මූලික අවස්ථාවේදීම යම් වෙනසක් ඇත්නම් හඳුනාගෙන අදාල ප්‍රතිකාර වලට යොමු විය හැකියි.
මෙසේ රෝගියා විසින් හඳුනාගත් ගෙඩියක් සම්බන්ධව වෛද්‍ය වරයා වෙත පැමිණි පසු සායනික පියයුරු පරීක්‍ෂාව කිරීමෙන් අනතුරුව මෙය පියයුරේ කුමන ආකාරයක තත්වයක් දැයි දැන ගැනීමට, පියයුරු පිලිකාවක් බවට නිශ්චිත නිගමනයකට එලඹීමට පරීක්‍ෂණ කිහිපයක් සිදු කිරීමට වෙනවා.
මැමෝග්‍රාෆි (mammogram), අති ධ්වනි තරංග පරීක්‍ෂාව (ultra sound scan), සෛල නිදර්ශක පරීක්ශාව (FNAC ), පටක ජෛවේක්‍ෂතාව (biopsy) යන පරීක්‍ෂණ ප්‍රතිපල මත තමයි තීරණය වන්නේ රෝගියාගේ තත්වය.

මෙම පරීක්‍ෂණ මගින් පියයුරු පිලිකාවක් බවට නිගමනය කලේ නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර වලට යොමු වනවා .

පියයුරු පිලිකාවට ඇති ප්‍රතිකාර මොනවාද ?
සැත්කම් , පිලිකා නාශක ඖෂධ ,හෝමෝන හා විකිරණ යන ප්‍රතිකාර භාවිතා කරනවා.
සැත්කම සිදුකරන ආකාරය පිලිකාව කෙතරම් විශාලද , කෙතරම් පැතිරී ඇතිද යන්න මත තීරණය වනවා.ඒ අනුව පියයුරේ කොටසක් පමණක්ද, මුලු පියයුරමද , වසා ගැටිති සහ පේෂීන් සමගමද යන්න තීරණය කරනවා.
පිලිකා නාශක ඖෂධ පිලිකාවක් බවට නිගමනය කල පසු සැත්කම කරන තුරුත් සැත්කමින් පසුවත් ලබා දෙනවා.එමගින් පියයුරු තුල හා වෙනත් ස්ථානවලට පැතිරී ගිය පිලිකා සෛල විනාශ කිරීමක් සිදු කරනවා.
විකිරණ ප්‍රතිකාර සැත්කමින් පසුව ඉතිරී ඇති සෛල මරා දැමීමට සැත්කමින් පසුව යොදා ගන්නවා.
හෝමෝන ප්‍රතිකාර යොදා ගන්නේ ඊස්ට්‍රජන් ප්‍රතිග්‍රාහක සහිත සෛල අඩංගු පිලිකා වලට ප්‍රතිකාර කිරීමටයි.

ස්වයං පියයුරු පරීක්‍ෂාවක් කරන්නේ කෙසේද ?
මසකට වරක් පියයුරු පරික්‍ෂාව සිදුකරන්න.
කණ්නාඩියක් ඉදිරිපස සිටගන්න. .
ඔබේ පියයුරු දෙකම එකම හැඩයෙන් ඇතිදැයි පරීක්‍ෂා කරන්න.
එක් පියයුරකට වඩා අනෙකෙහි ප්‍රමාණය පැහැදිලි වැඩි වීමක් තිබේද බලන්න.
පියයුරු වල සමෙහි ස්වභාවය නිරීක්‍ෂණය කරන්න.
පසුව එක් පියයුරක් පරීක්‍ෂා කිරීම සදහා එම පියයුර පැත්තේ අත ඉහලට ඔසවා හිස පිටු පස අල්ලා ගන්නා සේ තබා ගන්න.
අනෙක් අතින් අත ඉහලට එසවූ පැත්තේ පියයුර පරීක්‍ෂා කරන්න
පියයුර පරීක්‍ෂා කිරීමේදී අත්ල හොදින් අගිලි කෙලින් සිටින සේ තබා ගන්න.
එසේ ඇගිලි අත්ල පියයුර මත තබා වලයාකාරව තෙරපීමක් සිදු කරන ආකාරයට පරීක්‍ෂාකල යුතුය.
මෙසේ පරීක්‍ෂා කල යුත්තේ ඇගිලි තුඩු මගින් නොවේ.අත්ල සහිත ඇගිලි ප්‍රදේශයෙනි.
නැතිනම් ඇඳක් මත උඩුබැලි අතට නිදා ගැනීමෙන් පසු සරලව ඔබේ දකුණු අත්ලෙන් වම් පියයුරත් වම් අත්ලෙන් දකුණු පියයුරත් පරීක්‍ෂා කරන්න.
මෙසේ පරීක්‍ෂා කිරීමෙන් ගැටිත්තක් වැනි දෙයක් වේනම් එම ගැටිත්ත එහා මෙහා පනින ස්වභාවයකද නැතිනම් ඝනකම් ස්වභාවයක් පමණක් පවතින්නක්ද යන්න පරීක්‍ෂා කරන්න.
පසුව තන පුඩුව මිරිකීමෙන් යම් ස්‍රාවයක් පිට වෙනවාදැයි බලන්න.
එසේ ස්‍රාවයක් නිකුත් වනවානම් රුධිරය මිශ්‍රද , සැරවා සහිතද නැතිනම් දියරමය ස්‍රාවයක් දැයි බලන්න..
පෙර සඳහන් කල පරිදි යම් සැක සහිත යමක් වේනම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න.
 — with Shadowsmilano Milano,Waruna Sanjaya Bandara KarunathilakaSadaham YãtrãThappawarige Chandana LalithDinesh Ranga,Drkoko PriyanChandra MalaniRajarathne Jagath,Palitha BalageMilano Sri LankansItalian-Sinhala Dictionary Italian-Sinhala Dictionary and Dinusha Perera.

No comments:

Post a Comment

හොද නරක කියලා Comment එකක් දාලා යන්න හොදේ....